අද වනවිට ශ්‍රී ලංකා රැපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රැපියල් 150 ඉක්මවා පහළ වැටී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2016 වසරේ මුල සිට පසුගිය නොවැම්බර් මස 28 වැනිදා දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රැපියල සියයට 2.6කින් පිරිහී ඇති බවයි. එසේම මෙම කාලයේ දී අපේ රැපියල යුරෝවලට සාපේක්ෂව සියයට 0.3කින්ද, ජපන් යෙන්වලට සාපේක්ෂව 9.8 ප්‍රතිශතයකින්ද, කැනේඩියානු ඩොලර්වලට සාපේක්ෂව සියයට 5.4කින්ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 4.9ක ප්‍රතිශතයකිද පිරිහී ඇති බව මහ බැංකුව අවධාරණය කරයි.
මෙලෙස ජාත්‍යන්තරයේ අපේ රැපියල බාල්දු වීම නිසා අපට සිදුවන අයහපත විශාලය. රටක් තුළ ව්‍යවහාර කරන මුදලක් ශක්තිමත්ව තිබෙන විට පිටරටින් භාණ්ඩ ගෙන්වීමේදී අඩු මුදලක් ගෙවන්නට සිදුවන නමුත් එහි මිලදී ගැනීමේ ශක්තිය දුර්වල වීම නිසා මුලින් මිලට ගත් භාණ්ඩ ප්‍රමාණයම මිලයට ගන්නද විශාල මුදලක් වැය කරන්නට සිදුවීම ආර්ථිකයට අහිතකර බව කිව යුතුය. ඒ නිසා රටේ ආර්ථිකය යහපත් කරගෙන පිටරටට මුදල් ගලා යාම අවම කිරීමට නම් මෙරට මුදල ශක්තිමත් කිරීම සඳහා වැඩි උනන්දුවක් දැක්විය යුතුව ඇත. එසේ වුවද මේතාක් කල් අප මේ පිළිබඳ සාකච්ඡා කරමින් තත්ත්වය තාවකාලිකව මැඩපැවැත්වීමට පියවර ගත්තා විනා, ස්ථිරසාර විසඳුමකට යාමට උනන්දු වී නැත.
රැපියල අවප්‍රමාණ වීම වඩාත්ම අහිතකරව ඇත්තේ විදේශ ණය පිළිබඳවය. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රැපියලේ අගය පහළ බැසීම නිසා පමණක් 2016 වසරේ පළමු මාස 7 තුළ ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රැපියල් කෝටි 14170කින් ඉහළ ගොස් තිබෙන බව අනාවරණය කෙරේ. මෙයින් රැපියල් කෝටි 13300කින් විදේශ ණය වැඩි වී ඇති අතර ඉතිරි කෝටි 870 වැඩි වී ඇත්තේ විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම තක්සේරැ කළ හැකි දේශීය ණය ප්‍රමාණයේ අගය ඉහළ යාමෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එසේම 2015 වසරේ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රැපියල අවප්‍රමාණවීමෙන් මුල් මාස 7 තුළ රාජ්‍ය ණය රැපියල් කෝටි 60,000කින් වැඩි වූ බවද අනාවරණය වේ. 2014 දෙසැම්බර් අග වනවිට ණයවල අගය රැපියල් බිලියන 7390.9ක්ව තිබී ඇති අතර 2015 ජූලි වනවිට බිලියන 7990.8 දක්වා ඉහළ නැග තිබේ.
මෙලෙස ණය ඉහළ යාමට හේතුව පසුගිය සමයේ සිදුවූ රැපියලේ අගය අවප්‍රමාණවීමයි. මුලින් ගත් ණය පවා ගෙවීමට අපහසුව සිටින අවස්ථාවක ණය ප්‍රමාණය වසරින් වසර මෙලෙස ඉහළ යාමෙන් දිගටම ණය ගොඩේ සිරවී සිටීමට ජනතාවට සිදුව තිබේ.
එසේම පසුගිය සමයේ රැපියලේ අගය පහළ වැටීම පාලනය කිරීම සඳහා විදේශ වත්කම් මුදල් වෙළෙඳපොළට මුදාහැරීම සිදුවිය. විශේෂයෙන් 2014 වසර පුරාවට සහ 2015 වසරේ මුල් මාසවල ශ්‍රී ලංකා රැපියලේ අගය යම් හොඳ මට්ටමක පැවතුණේ අපනයන ආදායම ඉහළ නැගීම නිසා හෝ ආනයනය අඩුවීම නිසා හෝ නොව විදේශ සංචිත දියකර හරිමින් රැපියල යම් ප්‍රමාණයකට ශක්තිමත් කිරීමට යාම නිසාය.
මෙය හේතුකොට ගෙන 2014 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 8.2ක් වූ විදේශ සංචිතවල වත්කම් ප්‍රමාණය 2015 වනවිට බිලියන 3.2කින් පහළ වැටී ඇති අතර මේ වනවිට තවත් බිලියන 1කින් පහළ ගොස් බිලියන 4 දක්වා අවම මට්ටමකට වැටී ඇත. අප විදේශ වත්කම් රඳවාගෙන ඇත්තේ රටට යම් ආර්ථික අර්බුදකාරී අවස්ථාවක් ඇතිවුවහොත් පාවිච්චියට ගැනීමටය. ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ රටක විදේශ වත්කම් මාස 10ක පමණවත් යැපීමට ප්‍රමාණවත් විය යුතු බවය. එහෙත් වර්තමානයේ ඇති ප්‍රමාණය මාස 3කටවත් නොසෑහෙන බව කියැවේ. මෙය දැඩි අර්බුදකාරී අවස්ථාවකි. රටේ ආරක්ෂාවටද හානිකරය.
විදේශ සංචිත පාලනය කිරීමේ වගකීම භාරව සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර එම සංචිත නිසි පරිදි ආයෝජනය කර ලාභ ලබාගත හැකිය. එසේම රටේ ආර්ථික ස්ථාවරත්වයටද හේතු වේ. එහෙත් රැපියල බාල්දු වීම අඩපණ කිරීමට මෙලෙස විදේශ සංචිත දියකර හැරීම පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රැපියල නැංවීමට විදේශ සංචිත පාවිච්චි නොකිරීමට 2016 වසර මැදදී ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණ ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් 130ට පමණ තිබූ අගය මේ වනවිට 150 පසුකරගෙන ඈතට පාවී ගොස් ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජයට සැලසුමක් ඇති බවක් දක්නට නැත. මේ හේතුවෙන් උද්ධමනයද ඉහළ ගොස් ඇති අතර භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමෙන් ජනතාව හිරිහැරයට ලක්ව තිබේ. අයවැය ලේඛනයෙන් බදු වැඩිකිරීමද රැපියල අවප්‍රමාණවීමද නිසා ජනතාව විශාල පීඩනයකට ගොදුරැ වී සිටින බව පෙනෙන්නට තිබේ. ඒ නිසා මේ පසුගාමී තත්ත්වය අවම කිරීමට වහ වහා පියවර නොගන්නේ නම් රටට ආර්ථික වශයෙන් මෙන්ම පාලකයන්ට දේශපාලන වශයෙන්ද අහිතකර බව පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ පවසන්නේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රැපියලේ අගය අවප්‍රමාණ වීම හේතුවෙන් ආර්ථිකය දුර්වල වන බවට පවතින රාවය දුර්මතයක් පමණක් බවයි. මෙය මුළුමනින්ම වැරදි මතයක් වන අතර රැපියල අවප්‍රමාණ වීම බඩු මිලට යම් පමණක බලපෑම් කරතත් ඕනෑම රටක ආර්ථිකය මෙහෙයවන්නේ බඩු මිල මත පමණක්ම නොවන බව ඔහු අවධාරණය කරයි.
කිසිම රටක විනිමය අනුපාතිකය එකම මට්ටමක පවත්වාගෙන යා නොහැකිවන අතර ඉතිහාසය පුරා එය සිදුවී ඇත. ඉදිරියේදී ද එය සිදුවෙමින් පවතී. ලොව සෙසු රටවලද විනිමය අනුපාත ඩොලරයට හෝ යෙන් එකට සාපේක්ෂව කලින් කලට අඩු වැඩි වෙයි. මෙය රටවල ආර්ථිකයට බලපාන්නේ මඳ වශයෙනි. උදාහරණයක් වශයෙන් කිවහොත් පසුගිය වසර දෙකක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ඩොලරයේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 50කින් පමණ අඩු වී තිබේ. එසේ වුවද එම තත්ත්වය එරට ආර්ථිකයට අහිතකර ලෙස බලපා නොමැත. ලොව දියුණුවන රටවල් අතර ඔස්ට්‍රේලියාව ශක්තිමත් ආර්ථිකයක් පවත්නා දියුණු රටකි.
එක රටක විදේශ මුදල් අනුපාතය වෙනත් රටක මුදල් ඒකකයකට සාපේක්ෂව අඩු වැඩිවීම එම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල නොකරන අතර, එය රටේ ආර්ථිකය මැනීමේ එකම මිනුම් දණ්ඩ ලෙසද සැලකිය නොහැකිය. චීනය ලොව දෙවැනි විශාලතම රටවන අතර එරට දේශීය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3කට වැඩි වේ. එහෙත් වරෙක එරට යුවාන් ඒකක අගය ඩොලරයට සාපේක්ෂව සියයට 3කින් පහළ බැස තිබුණි. එය ප්‍රතිපත්තියක් වශයෙන් රටේ පාලකයන් විසින්ම සිදුකරනු ලැබූ දෙයක්වන අතර එයින් රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවිණි. එවැන්නක් සිදුවෙනවානම් රටේ පාලකයන් එලෙස අවප්‍රමාණ වීමට ඉඩහරින්නේ නැත.
රටක විනිමය අනුපාත හා පොලී අනුපාත බඩු මිලට වඩා අටේ ආර්ථිකයට බලපායි. ඒ නිසා එය පාලනය කරන්නේ මහ බැංකුව මගිනි. මෙම අංශ දෙක අවශ්‍ය වූ පරිදි අඩුවැඩි කිරීමෙන් රටේ ආර්ථික ගමන්මග නිර්ණය කිරීමට මහබැංකුව කටයුතු කරයි. ආර්ථිකය නිසිමගට අවතීර්ණ වන්නේ එවිටය. ආර්ථිකය ස්ථාවර කිරීමට දේශීය මුදල බාල්දු කිරීමට අවශ්‍යවන අවස්ථා තිබේ. ජනතාවට වැඩිපුර ණය ලබාදීමට බැංකු පොලී අනුපාතිකය පහළ බැස්සවීම සිදුකරන අවස්ථා ඇත. පිටරට සිට මෙරටට මුදල් එවනවිට අද රැපියලේ අගය අනුව අද වටිනාකම රැපියල් 150ට වැඩිය. එදා එයට රැ. 130ක් හෝ 135 ගෙවුවා විය හැකිය. මේ තත්ත්වය රටට වාසිදායක වේ. මේ නිසා විදේශ විනිමය ඉපැයීම වර්ධනය වීමක් ලෙස රැපියල බාල්දුවීම හැඳින්වීමට පුළුවන. එයට අපට වාසි සහගතය. එසේම දැනට අපේ රටට විශාල වශයෙන් ආනයනය කරන මෝටර් රථ ආදියේ යම් පාලනයක් ඇති කිරීම රැපියලේ අගය බාල්දු වීම නිසා සිදුවේ. මෝටර් රථ මිල ඉහළ යාම නිසා ඒවා මිලදී ගැනීම අඩුවීමෙන් මාර්ගවල වාහන තදබදය අඩුවන අතර වාහනවලට ඉන්ධන ආනයනයෙන් විශාල ලෙස විදේශ විනිමය නාස්තියද වක්‍රාකාරව යම් ප්‍රමාණයකින් පාලනයවේ.
තවද ඩොලරයක් සඳහා ගෙවන රැපියල් ප්‍රමාණය වැඩි වේ. ඩොලරයක් ණයට ගත්විට මෙයට පෙර රැපියල් 130ක් ලැබුණානම් දැන් රැපියල් 150ක් ලැබේ. මෙයද අපට වාසියකි. ඩොලරයක් ණයට ගත්විට එය ගෙවීමට ඩොලරයක් ඉපැයීමට සිදුවේ. එයට හේතුව රැපියල්වලින් පිටරටට ණය ගෙවිය නොහැකි වීමයි. ඒ සඳහා ඩොලර්වලින්ම ඉපැයීම කළයුතුය. මේ අනුව පෙනීයන්නේ රැපියල් අවප්‍රමාණවීමෙන් රටට සිදුවන යහපතක්ද ඇති බවයි.
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙසේ පවසයි.
රැපියලේ අගය පහළ වැටීමට ප්‍රධාන කරැණු කිහිපයක් බලපායි. ඒවා නම් අපේ ජාත්‍යන්තර වෙළෙඳාම, රටේ මුදල් වෙනත් රටවලට ආයෝජනය කිරීම රජයේ මූල්‍ය ප්‍රතිපත්ති හෙවත් පොලී අනුපාත ඉහළ පහළ දැමීම, සහ පුද්ගල මනෝභාවය හෙවත් ජනතාවගේ විශ්වාසය එම කරැණු වේ.
පසුගිය සමයේ අපේ රටේ ආනයනය, අපනයනයට වඩා දෙගුණයකින් ඉහළ නැග ඇත. මෙහිදී භාණ්ඩ ගෙන්වීමට ඩොලර් ඉල්ලීම වැඩිවීම නිසා එහි අගය ඉහළ යයි. විදේශ ආයෝජන ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළද එය බලාපොරොත්තු වූ තරම් සාර්ථක වූයේ නැත. ආණ්ඩු මාරැ වුවත් ආයෝජකයන් හිතූතරම් පැමිණියේ නැත. කොටස් වෙළෙඳ පොළේ පසුගාමි තත්ත්වයද මෙයට හේතුවූ අතර ආයෝජකයන් තම කොටස් අලෙවිකර කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්ව යාමේ ප්‍රවණතාව ඉහළ ගියේය. එයට හේතුව ඉල්ලුම පහළ බැසීමය.
රටේ මූල්‍ය ප්‍රතිපත්තියද විෂමකාරී විය. අමෙරිකාවේ දේශපාලන පරිවර්තනය සමඟ වෙළෙඳ පොළ ක්‍රියාකාරිත්වයට ගරැකරනවා වෙනුවට වඩාත් ලිබරල්වාදී ආණ්ඩුවක් බලයට පත්වූයේ හදිසියෙනි. අලුත් පාලනය ඇරඹූ පසු එරට පොලී අනුපාත ඉහළ යන බව කියයි. මෙහිදී ඩොලර් ආකර්ශනය වීම ඉහළයාමද ආයෝජකයන්ගේ වෙනස්වන නව සිතුම් පැතුම්ද අපේ රටට අහිතකර විය හැක. මෙම වටපිටාව ඩොලරයේ අගය ඉහළ යාමට හේතුවිය. එසේම රටේ පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ද ආර්ථිකයට කරන බලපෑම ඩොලරයේ වටිනාකම තීරණයවීමේදී පාදක වෙයි.
මෑත කාලයේදී ඩොලරයේ අගය වේගවත් ඉහළයාම නිසා අද වනවිට එහි විකුණුම් මිල රැපියල් 150.53ට පත්වී තිබේ. මෙම තත්ත්වය අපට පමණක් නොව ලොව බොහෝ රටවලට බලපාන බව කිවයුතුය.
අමෙරිකානු පොලී අනුපාත මේ වසර ඇතුළත දෙගුණයකින් වැඩිවී තිබේ. මෙම තත්ත්වය අපට අහිතකර ලෙස බලපාන අතර රට තුළ ඩොලර්වලට ඇති ඉල්ලුම වැඩිවීමට පටන්ගෙන ඇත. කෙසේවුවද මේ වනවිට ශ්‍රී ලංකා රැපියල පාවෙන්නට ඉඩහැර ඇති අතර පෙර මෙන් කෘතිමව වටිනාකම නිර්මාණය කර නැත. මෙය යහපත් උත්සාහයක් වන අතර මෙයින් රටේ සත්‍ය ආර්ථික තත්ත්වය පිළිබිඹු වේ. අද මෙලෙස රැපියල විශාල ලෙස අවප්‍රමාණවීම අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තිවල යම් දොස් තිබෙන බව පෙන්නුම් කරයි. අනවශ්‍ය ලෙස ආනයන මත යැපීම දැන්වත් නැවැත්විය යුතුය. අපේ අපනයන වර්ධනය කර විදේශ වෙළෙඳ පොළ ජයග්‍රහණය කිරීමට මෙය හොඳම කාලයකි.
♦ යසවර්ධන රැද්රිගු